Monday, July 16, 2018

ලෝකේ ලොකුම ෆෝන් ෆැක්ටරි එක ඉන්දියාවෙ!

 
පහුගිය 9 වෙනිදා (2018 ජූලි 9) Samsung සමාගම විසින් ඉන්දියාවෙදි ලෝකෙ ලොකුම ෆෝන් ෆැක්ටරි එක ඕපන් කරලා. එතන අවුරුද්දකට ෆෝන් මිලියන 120ක් හදන්නලු එයාලගෙ ටාගට් එක. ඔයාලා දන්නවනෙ, Samsung කියන්නෙ ලෝකෙ වැඩිම ෆෝන් හදන විශාලම දුරකථන නිපදවන සමාගම කියලා.
ඒ ප්ලාන්ට් එකේ මුලින්ම හදන ෆෝන් ටික ඔක්කොම වගේ ඩොලර් 100ට අඩුවෙන් දෙන්නලු Samsung සමාගමේ අදහස. ඉන්දියාවේ දැනට ස්මාට්ෆෝන් භාවිතා කරන අය මිලියන 400කට වඩා ඉන්නවලු. ඒත් ඉන්දියාවේ ජනගහනය බිලියන 1.3 ක් වෙන නිසා, තවත් ෆෝන් අම්බානක් විකුණගන්න පුළුවන් බව Samsung සමාගමට තේරිලා තියෙනවා.

ඒ කොහොම වුණත් මෑතකදී ඉන්දියානු ස්මාට්ෆෝන් මාකට් එක ආක්‍රමණය කරන්න Xiaomi දුරකථන සමාගමට හැකියාව ලැබුණා. ඒකටත් හේතුව වුණේ Xiaomi ෆෝන් ෆැක්ටරි එකක් ඉන්දියාවේ හැදුව එක. ඉතින් Samsung සමාගමේ මේ ටාගට් එක මොකටද කියලා දැන් ඔයාලට තේරෙනවා ඇති.

ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි ගේ "ඉන්දියාවේ හදමු" (Make in India) සංකල්පය නිසා පිට රටවල් වලින් ආනයනය කරන ෆෝන් වලට සහ සන්නිවේදන උපකරණ වලට 20%ක බද්දක් ගෙවන්න වෙනවා. ඉතින් මෙන්න මේ තීරණයත් මේ වගේ ෆැක්ටරි එකක් ඉන්දියාවේ හදන්න හේතුවක් වෙනවා.

මේ ෆැක්ටරි එක නිසා දෙයියනේ කියලා අපිටත් ටිකක් අඩුවට ෆෝන් ගන්න පුළුවන් වුණොත් නම් හොඳා.  අපේ සිරි ලංකාවේ ෆෝන් ෆැක්ටරි එකක් හදලා අඩුවට ෆෝන් ගන්න හිටියොත් ඉතින් නාකි වෙනකන් ෆෝන් නම් ගන්න වෙන්නෙ නෑ.

***
Share:

Microsoft සමාගම අවුරුදු ගාණකට පස්සෙ Notepad එක Update කරනවලු



ඔන්න ඉතින් Windows මෙහෙයුම් පද්ධති වල අපි හැමෝම දන්න Notepad App එක අප්ඩේට් කරන්න යනවලු Microsoft සමාගම.  මේ අප්ඩේට් එක දෙන්න එයාලට හිතිලා තියෙන්නේ වින්ඩෝස් භාවිතා කරන අයගේ ඉල්ලීම් නිසා ලු.

ඒ කොහොම වුණත් අවුරුදු ගාණක් තිස්සේ අප්ඩේට් එකක් නොලැබුණු Notepad App එකට update එකක් එන එක Windows භාවිතා කරන අයට නම් සතුටුදායක ආරංචියක් වේවි.

ඊළඟට එන ප්‍රධාන Windows 10 Update එකත් එක්ක මේ Notepad අප්ඩේට් එකත් දෙන්න යන බවයි ආරංචිය. එයාලා කියන විදියට මෙන්න මේ දේවල් Notepad එකට එකතු වෙන්න නියමිතයි ලු.
  • Ctrl Key එක ඔබාගෙන Mouse Wheel එක කරකවනකොට Text ටික zoom වෙන්න හදනවලු 

  • Unix/Linux සහ Macintosh Line endings වලට සහය දක්වනවලු. (ඔයා Linux User කෙනෙක් නම් මේ අමිහිරි අත්දැකීම විඳලා ඇති. ඔයාලා ලිනක්ස් වල Text එකක් එඩිට් කරලා ඒක Windows වල ඕපන් කරාම, නිකන් එක ගොඩේ ගොම හැලිය වගේ පේන්නෙ. අන්න ඒක නැති කරනවලු. ලිනක්ස් වලටයි ඇපල් වලටයි දෙකටම.)

  • Status Bar එක default settings විදියට enable කරලම එවනවලු. අනික් දේ status bar එකේ ලයින් නම්බර් එකයි, කොලම් නම්බර් එකයි පෙන්නනවලු Word-Wrap enable කරලා තියෙනකොට.

  • Ctrl එක ඔබාගෙන Backspace එබුවම දැන් කලින් වචනය එකපාරට මකලා දාන්නත් පුළුවන් ලු.

  • ප්‍රමාණයෙන් විශාල ටෙක්ස්ට් ෆයිල් එකක් ඕපන් කරාම කලින් වගේ හිරවෙන්නෙත් නැතිලු.

  • නෝට්පෑඩ් එකේ තියෙන වචනයක් උඩ Right Click කරලා Bing search engine එකේ search කරන්නත් පුළුවන් ලු.

මේ ලූ ලූ කිව්ව ෆීචර්ස් ඇත්තටම ඇඩ් වෙයිද කියලා බලන්න වෙන්නේ ඉතින් ඊළඟ Windows 10 ප්‍රධාන අප්ඩේට් එකේදී තමයි. ඒක එන්න ඉතින් මේ අවුරුද්දේ අග වගේ වෙයි ලු.
එහෙනම් අපි බලන් ඉමු ඉතින්, ඔය කියන අප්ඩේට් එක එනකන්. අලුත් පෝස්ට් එකකින් නැවත හමුවෙමු!

***
Share:

Sunday, July 15, 2018

සිංහල Podcast අහමු.


ඔබ සිංහල බ්ලොග් කියවන කෙනෙක් නම්, අනිවාර්යයෙන්ම ආස  වෙන දෙයක් තමයි සිංහල Podcast කියන්නෙ.

Podcast එකක් කියන්නෙ මොකක්ද?

පොඩ්කාස්ට් එකක් කියන එක ගැන දළ අදහසක් දුන්නොත්, ඒක හරියට radio program එකක් වගේ. ඒත් මේකේ වෙනස තමයි ඔයාලට පුළුවන් ඔයා කැමති වෙලාවක මේ වැඩසටහන Download කරගෙන හෝ online stream කරලා හරි අහන්න.

පොඩ්කාස්ට් කියන්නේ ශ්‍රව්‍යමය මාර්ගයෙන් (ඇසීමෙන්) තොරතුරු සන්නිවේදනය කරන ක්‍රමයක්.

සිංහල Podcast වල කතා වෙන්නේ මොන වගේ දේවල් ද?


ඔයාට අද වෙනකොට විවිධ දේවල් ගැන කතාවෙන සිංහල පොඩ්කාස්ට්‍ බොහොමයක් හොයාගන්න පුළුවන්. බොහෝ විට ඒවගෙ කතාවෙන දේවලුත් විවිධයි.

ඒ දේවල් වලින් ටිකක් ලැයිස්තුවක ලිව්වොත් මෙන්න මේ වගේ ලයිස්තුවක් ලියාගන්න පුළුවන්.
  • විද්‍යාව
  • තාක්ෂණය
  • පුවත්
  • ඉතිහාසය
  • මනෝ විද්‍යාව
  • චිත්‍රපට
  • සංගීතය
  • කාලීන විදුවීම්
සහ, මීටත් ව්ඩා බොහොම පුළුල් ව පැතිරුණු විශය පරාසයක් ගැන කතා වෙන සිංහල පොඩ්කාස්ට් ඔයාට දැකගන්න පුළුවන් වේවි.

පොඩ්කාස්ට් කරන්නේ මොන වගේ අය ද?


බොහෝවිට පොඩ්කාස්ට් එකක් කරන්නේ යම් අදාළ විශයක් ගැන ආසාවක් දක්වන, ඒ විශය ගැන දැනුමක් ඇති අය විසින්, තම්න් දන්නා දේ අනෙක් අයට කියාදීමේ ආසාවක් ඇති අය විසින්.

මෙයින් සමහර පොඩ්කාස්ට් වලට සමහර විශය ක්ෂේත්‍ර වල ප්‍රවීණයන්, විශේෂඥ්ඥයින් ආරාධිත අමුත්තන් විදියට කැඳවාගෙන ඇවිල්ලා පවා එයාලගේ දැණුම අන් අයට බෙදා දීම සිදුවෙනවා.

පොඩ්කාස්ට් අසන්නෙක් විදියට මට ලැබෙන ප්‍රතිලාභ මොනවද?


පොඩ්කාස්ට් එකක් කියන්නෙ ඇත්තටම ගත්තොත් ලොකු දැණුම් සම්භාරයක්. ඔයාට පුළුවන් ඔයා ආස කරන විශය ක්ෂේත්‍රයක් ගැන පුළුල් දැනුමක් ලබාගන්න. ඒ වගේම ඒ සමහර පොඩ්කාස්ට් වලින් හදලා තියෙන Facebook Groups වගේ communities වලට එකතු වෙලා, බොහෝ විශයන් ගැන දැණුමක් සහිත අය එක්ක අදහස් හුවමාරු කරගන්නත්, ඔයාගෙ ජීවිතයට වැදගත් වෙන බොහෝ කරුණු කාරණා ඉගෙනගන්නත් ඔයාට හැකි වේවි.

අපි මේ සිංහල පොඩ්කාස්ට් අහන්නෙ කොහොමද? 

  • Desktop Browser එකකින්.
ඔයා අන්තර්ජාලයට නිතරම පිවිසෙන්නේ ඩෙස්ක්ටොප් කම්පියුටර් එකකින් නම්, ඔයාට සිංහල පොඩ්කාස්ට් හැම එකක්ම වගේ බොහොම පහසුවෙන් අහන්න හොඳම විදිය තමයි මෙන්න මේ වෙබ් අඩවිය.


  • Smart Phone එකෙන්.
ඔයා පාවිච්චි කරන්නේ Android Phone එකක් නම් ඔයාට පුළුවන් මෙන්න මේ සිංහල පොඩ්කාස්ට් වෙනුවෙන්ම හැදුව ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. මේකෙ කිසිම වෙළඳ දැන්වීමක් හෝ subscription එකක් නැහැ. සම්පූර්නයෙන් නොමිලේ භාවිතා කරන්න පුළුවන්.



එහෙමත් නැත්නම් Soundcloud වගේ ඇප් එකකිනුත් මේ පොඩ්කාස්ට් අහන්න පුළුවන්. නමුත් සමහර පොඩ්කාස්ට් Soundcloud වලට ඇතුළත් කරන්නේ නැහැ. 

ඔයාගෙ ෆෝන් එක Apple එකක් නම් Apple Podcast කියන ඇප් එකේ Search කරලා ඔයාට සිංහල පොඩ්කාස්ට් හොයාගන්න පුළුවන්. (සිංහල පොඩ්කාස්ට් වල නම් ටික හොයාගන්න අර මම කලින් දුන්න podcasts.lk අඩවියට යන්න.) 

***

සිංහල පොඩ්කාස්ට් ගැන ගෙනාව ලිපිය මෙතනින් අවසන් කරන්නයි මේ සූදානම. මම නම් සිංහල පොඩ්කාස්ට් අහන්න පටන්ගත්තේ Illumination කියන මලින්ද අලහකෝන් සහ සත්‍යජී කැන්දවල කියන දෙන්නා කරන පොඩ්කාස්ට් එකෙන්. ලංකාවේ පොඩ්කාස්ට් කියන සංකල්පය ජනප්‍රිය වුණෙත් මෙන්න මේ පොඩ්කාස්ට් එක නිසා. මම කැමතියි ඔයාලත් ඒ පොඩ්කාස්ට් එකෙන්ම ඔයාලගෙ පොඩ්කාස්ට් ඇසීම ආරම්භ කරනවා නම්. එහෙනම්, දැනට සමුගන්නම්. ඔබට ජය!
Share:

ෆෝන් එකේ Ads කරදරේට බායි කියමු

Android ෆෝන් එකක් පාවිච්චි කරන ඔයා නිතරම මුහුණ දෙන කරදරකාරී ප්‍රශ්ණයක් සදහටම තුරන් කරන්නයි මේ සූදානම.


Android ෆෝන් වලට එන ගොඩක් Apps අපිට ලබාදෙන්නේ නොමිලේ නිසා ඒ Apps හදන Developers ලා කීයක් හරි හොයාගන්න තමා ඇප්ස් වලට Ads දාන්නෙ. ඒත් ඉතින් සමහර ඇප්ස් වලට බොහොම කරදරකාරී විදියට ඇඩ්ස් පෙන්නන්න ගන්න එකයි, සමහර Ads වලට වීඩියෝ ක්ලිප්ස් / ෆොටෝස් වගේ media ඩවුන්ලෝඩ් කරන්න අපේ සන්තකේ තියෙන ඩේටා ටික කපාගන්න එකයි නිසා අපිට සිද්ද වෙනවා ඔය කරදරකාරී ඇඩ් වදේට බායි කියන්න.

ඔක්කොටම කලින් කියන්න ඕන මේ වැඩේ කරන්න ඔයාගෙ ෆෝන් එක් Root කරලා තියෙන්න ඕන.
(දැන් ගොඩක් අය ෆෝන් root කරගන්න නිසා මේක ලොකු ගැටළුවක් වෙයි කියලා මම හිතන්නෙ නැහැ.)

මේ ඇප් එකේ versions දෙකක් තියෙනවා. ඔයාගෙ ෆෝන් එක Android 4.1 (Jellybean) සහ ඊට වඩා උඩ නම් (Jellybean, KitKat, Lollipop, Marshmallow, Nougat, Oreo) වෙනම වර්ශන් එකකුත්, ඔයාගෙ ෆෝන් එක Android 4.1 වලට වඩා අඩු නම් (Froyo, Gingerbread, Honeycomb, Icecream Sandwitch) වෙනම වර්ශන් එකකුත් වශයෙන්. ඒ නිසා මේ ඇප් දෙක පටලගන්න එපා. 

ඒ වගේම මේක පටන්ගන්න කලින් ෆෝන් එකේ Settings වලට ගිහින් Security Settings වලින් Unknown Sources කියන ඔප්ෂන් එක On කරගන්න ඕන. නැත්නම් මේ ඇප් එක Install කරන්න බැහැ.

හරි එහෙනම් මුලින්ම ගිහින් මෙන්න මේ Android File Host ලිංක් එකෙන් හරි, මම පහළින් දීලා තියෙන මගේ ලිංක් එකෙන් හරි මෙන්න මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඔයාගෙ ෆෝන් එකට.

Android File Host
එතකොට මේ පහළින් තියෙන්නෙ මේ ඇප් එකේ Official සයිට් එකට. ඕන නම් ඒකටත් ගිහින් බලන්න.

https://adaway.org

හොඳයි, එහෙනම් දැන් ඩවුන්ලෝඩ් කරගත්ත apk ෆයිල් එක ඔයාගෙ File Manager එකෙන් ගිහින් හොයාගෙන ඒක උඩ ටැප් කරලා (ටච් කරලා) ඉන්ස්ටෝල් කරගන්න. ඊට පස්සෙ මෙන්න මේ වගේ ඇප් එකක් ඔයාගෙ ෆෝන් එකේ දකින්න ලැබේවි. ඒ ඇප් එකේ නම AdAway (පහළ පිංතූරයේ පළමුවෙනියට තියෙන රතුපාට අයිකන් එකක් තියෙන ඇප් එක.)

දැන් අන්න ඒ ඇප් එක ඕපන් කරගන්න. එතකොට ඔයාට පේන්නෙ මෙන්න මේ පහළ පින්තූරයේ වගේ ස්ක්‍රීන් එකක්. එතනින් ඔයා ටැප් කරන්න ඕන "DOWNLOAD FILES AND APPLY AD BLOCKING" කියන බට්න් එක.
ඒක එබුවම ඔයාගෙන් Root Privileges ඉල්ලයි. ඒක Grant කරන්න. (ඔයා සාමාන්‍ය Rooted ෆෝන් එකක් භාවිතා කරන Android User කෙනෙක් නම් මම් මේ කියන දේ වැටහෙන්න ඕන.)

Root Privilege එක ලබා ගැනීමෙන් පසුව ඔයාට දකින්න ලැබෙයි මෙන්න මේ ආකාරයට Host Files ඩවුන්ලෝඩ් වෙන බව. ඇප් එකට ටිකක් වෙලා දෙන්න අදාළ ෆයිල්ස් ටික ඔක්කොම ඩවුන්ලෝඩ් කරගන්න තුරු.
අදාළ ෆයිල්ස් ටික ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඔයාට දකින්න ලැබෙයි මෙන්න මේ පහළින් තියෙන විදියට ඒ ෆයිල්ස් ඔයාගෙ ෆෝන් එකට Apply කරනවා. ඒකටත් ටිකක් වෙලා යාවි.
අන්තිමට ඔයාගෙ ෆෝන් එක්ට නිවැරදිව ෆයිල් ටික ඇප්ලයි වුණා නම්, මෙන්න මේ පහළ විදියට ඩයලොග් එකක් ඒවි. එතනදි මම නම් කරන්නේ ඔතන Never reboot and don't show this question next time කියන තැන කොටුවත් ටික් කරලා No බට්න් එක ඔබන එක. මොකද ඔතන Yes එබුවොත් එසැනින් ඔයාගෙ ෆෝන් එක Restart වෙනවා. මම ඒකට එච්චර කැමති නෑ.
අර මම මුලින් කිව්ව විදියට කරලා ඔයා සාමාන්‍යයෙන් ෆෝන් එක Restart කරන විදියට ෆෝන් එක restart කරන්න. (ඕෆ් කරලා ඔන් කරත් හරි)

දැන් එහෙනම් ඔන්න වැඩ ටික ඉවරයි. ඔයාලට දැන් ෆෝන් එකේ ඇඩ් වලින් 90% කට වඩා අඩු බව දැනේවි. සමහර බ්‍රවුසර් වල සහ Youtube එකේ ඇඩ් නම් මේ ඇප් එකෙන් ඉවත් කරන්නේ නැහැ. 

මමත් දැන් අවුරුද්දක් විතර බොහොම හොඳින් භාවිතා කරන ඇප් එකක් තමයි මේ. එහෙනම් මේ කතාව මෙතනින් ඉවරයි. අලුත් පෝස්ට් එකක් අරන් එන්නම්. ඔබට ජය!


***

Share:

Saturday, July 14, 2018

හැක් නොවෙන හැටි - 3

Online Account වල ආරක්ෂාව ගැන ගැන ලියන් ආව පෝස්ට් සෙට් එක මෙතනින් ඉවර කරන්නයි යන්නෙ. හැබැයි පසුවට නැවතත් මේ ගැන ලියන්න බලාපොරොත්තුවක් තියෙනවා. එහෙනම් අද කාරණාව පැත්තට යමු.

Two-Factor Authentication - සහතික කිරීමේ දෙවැනි සාධකය


මේක සමහරවිට ඔයා දැනටමත් Facebook එකේ හෝ ඔයාගෙ Google ගිණුමේ settings වල දැකලා ඇති. මේ මොකක්ද කියලා තමයි අද කියලා දෙන්න යන්නෙ. මේ පෝස්ට් එකේ topic එක Two-Factor Authentication වුණාට, මම කියලා දෙන්නම් Three-Factor Authentication එක ගැනත්.

Three-Factor Authentication එහෙමත් නැතිනම් සාධක තුනක තහවුරු කිරීම කියන්නේ මෙන්න මේ සාධක තුනට.

1) Something you know - ඔබ දන්නා දෙයක්
2) Something you have -  ඔබ සතු යමක්
3) Something you are -  ඔබේ ශරීරයේ කොටසක්
***

 

Two-Factor Authentication ක්‍රියාදාමය සිදු වෙන හැටි



යම් online සේවාවකට හෝ කිසියම් පද්ධතියකට log වෙන්න යනකොට සාමාන්‍යයෙන් අපි ඉස්සර ඉඳන් කළේ Username එකයි පාස්වර්ඩ් එකයි ගහලා login වුන එකනෙ. ඒත් ඒ ක්‍රමය ආරක්ෂාකාරී අඩු බව තේරුම්ගියාට පස්සේ තමයි Two-Factor Authentication කියන සංකල්පය ආවේ. මේ කාරණාවෙදි වෙන්නෙ මේකයි, ඔයා යම් කිසි පද්ධතියකට log වෙන්න උත්සහ කරන අතරේදි ඔයාට username සහ password ගැහුවත් ඒ අදාල පද්ධතියට log වෙන්න දෙන්නේ නැහැ.

ඒ මොකද කියනවා නම් username සහ password නිවැරදිව ඇතුළු කළාට පස්සෙ ඔයාගෙන් තවත් දෙයක් ඉල්ලනවා. එක්කෝ ඔයාගෙ Mobile Phone එකට හෝ Smart Watch එකට කෙටි පණිවුඩයක් වගේ මාර්ගයකින් පද්ධතිය මඟින් ඔයාට එවන යම්කිසි වචනයක් හෝ සංඛ්‍යාවකුත් ඇතුළත් කරන්න වෙනවා, එහෙමත් නැත්නම් ඔයාගෙ Mobile Phone එකේ හෝ  Smart Watch එකේ එක් විශේෂ ඇප් එකකින් (Authentication App) ස්වංක්‍රීයව ජනනය කරන කේතයක් පද්ධතියට ඇතුලත් කරන්න වෙනවා. එහෙමත් නැතිනම් ඔයාගෙ Mobile Phone එකේ හෝ  Smart Watch එකේ විශේෂ බොත්තමක් ඔබලා පුළුවන් ඒ පද්ධතියට ලොග් වෙන්න උත්සාහ කරන්නේ ඔයාම බව පද්ධතියට හඟවන්න. මේකෙන් බලන්නේ something you have කියන දේ බව ඔයාට තේරෙනවා ඇති. 

පද්ධතියෙන් සොයාබලන්නේ,

මේ දැන් username එකයි පාස්වර්ඩ් එකයි ගහලා ලොග් වෙන්න හදන කෙනා ගාව එයාගෙ ෆෝන් එක තියෙනවද? (something you have) එහෙමත් නැත්නම් එයාගෙ Smart watch එක එයා ගාව තියෙනවද?

කියලයි.

අදාළ user හරියට අර දෙවැනි කේතය ඇතුලත් කළොත් හෝ බට්න් එක එබුවොත් ඊට පස්සෙ පද්ධතිය හිතන්නේ මෙන්න මෙහෙමයි, (ඇත්තටම හිතන්න බැහැ, ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ එහෙමයි)

හරි එහෙනම්, මෙයා පාස්වර්ඩ් එකත් දන්නවා, මෙයා ගාව එයාගෙ ෆෝන් එකත් තියෙනවා, එහෙනම් මේ අදාල කෙනා ම වෙන්න ඇති මේ ලොග් වෙන්න උත්සාහ කරන්නේ, මේ හොරෙක් නෙවෙයි වෙන්නැති.

යනුවෙන් හිතලා ඒ user ට පද්ධතියට පිවිසෙන්න ඉඩ ලබා දෙනවා.

ඒත් මොනයම් හරි හේතුවක් නිසා, user ළඟ ෆෝන් එක තියෙන බව පද්ධතියට අඟවන්න user අපොහොසත් වුණොත්,  user නිවැරදි password එක ඇතුළත් කළත් එයාට log වෙන්න නම් ලැබෙන්නේ නැහැ.

ඔයාලට දැන් මේක වඩා ආරක්ෂා සහිත බව හොඳාකාරවම තේරිලා ඇති. මොකද කවුරු හරි ඔයාගෙ password එක හොයාගත්තත්, එයාට කවදාවත් ඔයාගෙ account එකට නම් log වෙන්න ලැබෙන්නේ නැහැ.

මේ ටික කියවගෙන ආව ඔයාට දැන් Three-Factor Authentication කතාවත් තේරිලා ඇති. ඒකෙන් වෙන්නේ, පාස්වර්ඩ් එකත්, Two-Factor Authentication එකෙන් සමත් වීමත් ඊළඟට ඔයාගෙ ඇඟිලි සලකුණ හෝ මුහුණේ හැඩය හෝ අක්ෂි කාචයේ සැකස්ම ස්කෑන් කිරීමක් කරන්න වෙනවා. එතකොට ඒ තුනම නැත්නම්, ඒත් ලොග් වෙලා හමාරයි.

ඒත් තවමත් මේ තුන් වෙනි සාධකය ක්‍රියාත්මක කරන්න තරම් අපි හැමෝම දියුණු නැහැ. ඒත් දැන් ඔයාලා දන්නවා ඇති, මුහුනේ හැඩයෙන්, ඇඟිලි සලකුණෙන් අන්ලොක් වෙන ජංගම දුරකථන තියෙන බව. ඉතින් ඉදිරියේදී අපිට පුළුවන් වෙයි Three-Factor Authentication එක ගොඩක් පාවිච්චි වෙනවා බලන්න.

නමුත් වර්ථමානයේ බොහොම සාර්ථකව සහ බොහෝ වශයෙන් භාවිතා වෙන Two-Factor Authentication එක නම් අපි දැනටමත් යොදාගත යුතුම දෙයක් වෙලයි තියෙන්නේ. ඔයාලා Two-Factor Authentication ගැන ඉගෙනගෙන ඒක යොදාගෙන ගිණුම් වලට පිවිසීම පටන්ගත්තම අනේ මගේ account එක හැක් වෙලා කියන අඳෝනාව බොහෝ දුරට අඩු වේවි.

එහෙනම් දැන් අපි Two-Factor Authentication ගැන ඉගෙනගත්ත එකේ, අපි ඒක යොදාගමු. අපි යමු ෆේස්බුක් එකේ Two-Factor Authentication පහසුකම ක්‍රියාත්මක කරගන්න.

Facebook අඩවියේ Two-Factor Authentication පහසුකම සක්‍රීය කිරීම.

මුලින්ම ඔයා යන්න ඕන Facebook එකේ General Account Settings වලට. ඒකට යන විදිය දන්නෙ නැත්නම් බොහොම සරලව මේ පහළ ලිංක් එකෙන් යන්න.

Fcebook General Account Settings

එතනට ගියාට පස්සේ ඔයා තෝරගන්න ඕන Security and Login කියන Tab එක. මම මේ පහළ පින්තූරයේ රතු පාටින් කොටු කරලා දක්වලා තියෙන ප්‍රදේශය ක්ලික් කරලා එතනට යන්න පුළුවන්.
ඒ පිටුවේ ටිකක් පහළට ගියාම ඔයාට දැකගන්න පුළුවන් වේවි මෙන්න මේ  පහළින් කොටු කරලා තියෙන Use two-factor authentication කියන සැකසුම. එතන දකුණු කෙළවරේ තියෙන Edit බට්න් එක ඔබලා ඉදිරියට යන්න.

ඔයාගෙන් Facebook Password එක ඉල්ලුවොත්, Password එක ලබාදීමෙන් ඉදිරියට යන්න පුළුවන්.
ඊළඟට ඔයාට දකින්න පුළුවන් වෙන පිටුව මම මේ පහළ පිතූරයේ දක්වලා තියෙනවා. එතන තියෙන Get Started කියන බොත්තමෙන් පුළුවන් ඔයාගෙ ගිණුමට අදාළ Two-Factor Authentication පහසුකම සක්‍රීය කරගැනීමේ පියවර ටික අරඹන්න.
මේ පහසුකම සක්‍රීය කරගන්න නම් ඔයාට ෆෝන් නම්බර් එකක් තියෙන්න ඕන, නැත්නම් App එකක් මාර්ගයෙන් මේක කරගන්නත් පුළුවන්, ඒත් වඩා සුදුසු Text Message එකක් මාර්ගයෙන් මේ පහසුකම සක්‍රීය කරගැනීම තමයි. මම මගේ Facebook ගිණුමට මගේ ජංගම දුරකථන අංකය ඇතුළත් කරලා තියෙන නිසා, ඒ නම්බර් එක default වශයෙන් ස්වයංක්‍රීයවම තෝරගෙන තියෙන හැටි ඔයාට පහළ පින්තූරයෙන් දකින්නට පුළුවන්.

හැමෝම වගේ තමන්ගේ අංකය Facebook ගිණුමට එකතු කරගන්නවනේ, මෙතනදි ඔයාට පෙන්වන ෆෝන් නම්බර් එක ඔයා දැන් භාවිතා කරන්නේ නැතිනම් ඔයාගෙ ෆෝන් නම්බර් එක මාරු කරගන්න පුළුවන් නැවතත් General Account Settings වලට ගිහින් Mobile Tab එක ක්ලික් කිරීමෙන්.

මෙතනදී ඔයා අනිවාර්යයෙන්ම ලබා දෙන්න ඕන දැනට ක්‍රියාත්මක, ඔයා නිතර භාවිතා කරන, ඔයා ළඟ තියෙන ෆෝන් එකේ අංකය බව මතක තියාගන්න.

ඔයා නිවැරදිව අංකය ඇතුළත් කරලා නම් දැන් පුළුවන් මේ පහල පින්තූරයේ අකාරයට settings හදාගෙන Next බොත්තම ඔබලා ඉදිරියට යන්න.
ඊළඟ පියවරේදී ඔයාට සිද්දවෙනවා ඔයා කලින් ඇතුලත් කරපු නම්බර් එකට එන කෙටි පණිවුඩයේ සඳහන් කේතය මෙන්න මෙතන හිස් කොටු තුලට ඇතුළත් කරන්න.

ඔයාට එන මැසේජ් එකේ (Text Message / SMS) තියෙන්නේ ඉලක්කම් 6 ක් සහිත කේතයක්. ඒ මැසේජ් එක මෙන්න මේ මම පහළින් ලියලා තියෙන එක වගේ.
"Use 451784 for two-factor authentication on Facebook."
 ඔයාට SMS එක එන්න විනාඩියක් දෙකක් යයි කලබල වෙන්න එපා.

නිවැරදිව ඒ කේතය ඇතුළත් කළාට පස්සේ ඔයාට පුළුවන් Next බට්න් එක ඔබලා ඉදිරියට යන්න.
ඊළඟට ඔයාට දර්ශනය වෙන පේජ් එකේ තියෙන මම මේ පහල පින්තූරයේ කොටු කරලා දක්වලා තියෙන සැකසුම off කරන්න අමතක කරන්න එපා. එහෙම නැති වුනොත් ඔයාගෙ account එකේ two-factor authentication පහසුකම සක්‍රීය වෙන්නේ සතියකට පස්සේ. එහෙම ඕන නෑනේ, අපිට ඕන මේ දැන්ම ඒක හදාගන්න නිසා ඒ සැකසුම ඕෆ් කරන්න, ඔයා නිවැරදිව settings හැදුවා නම් මම මේ පහළින් පෙන්නලා තියෙන විදියට ඔයාගෙ settings හදලා තියෙන්න ඕන.
 අවසාන වශයෙන් ඔයාට මෙන්න මේ වගේ පිටුවක් පෙනේවි. ඒකෙන් කියන්නේ ඔයා සාර්ථකව Two-factor authentication පහසුකම සක්‍රීය කරගත්ත බව. ඔයාට කවදා හරි මේ පහසුකම off කරන්න ඕන වුණොත් ඒකටත් බට්න් එකක් මේ පේජ් එකේ තියෙන බව ඔයාට පෙනේවි.
ඔන්න මෙතනින් ඔයාගෙ පියවර ටික අවසානයි, මීට පස්සෙ ඔයා Facebook එකට මීට කලින් ලොග් වෙලා නැති අලුත් උපාංගයකින් / ඇප් එකකින් හෝ බ්‍රවුසර් එකකින් ලොග් වෙන්න උත්සාහ දරන හැම වෙලාවකම ඔයාගෙ ෆෝන් එකට එන ඉලක්කම් හයේ කේතයත් ඇතුළත් කරන්න වෙනවා.  

බය වෙන්න එපා, ඔයා ෆේස්බුක් ලොග් වෙන හැම වතාවකම මේ කෝඩ් ඉල්ලන්නෙ නැහැ. නොදන්නා, සැක කටයුතු උපාංගයකින් / ඇප් එකකින් හෝ බ්‍රවුසර් එකකින් ලොග් වෙනකොට පමනයි මෙහෙම කෝඩ් එකක් ඉල්ලන්නේ.

 තව වැදගත් වැඩක් තියෙනවා කරන්න එහෙනම් අපි ඒකත් කරලා දාමු.

ඔයාගෙ ෆෝන් එක නැති වුණොත්, සිම් කාඩ් එක අවලංගු වුණොත් ඔයාට facebook ලොග් වෙන එක ලොකු අවුලක් වෙන නිසා මෙන්න මේ පියවර ටිකත් ඉවර කරගෙන ඉන්න. 

ඔයා දැන් ඔය ඉන්න පිටුවේ පහළට ගියාම මෙන්න මේ වගේ option එකක් දකීවි. (ඔයාට ඒ පිටුවට ඕනම වෙලාවක යන්න පුළුවන් මෙන්නම මේ පියවර වලින්. General Account Settings > Login and Security > Two-factor authentication settings > edit (Password)) එතනින් setup බොත්තම ඔබලා ඉදිරියට යන්න.
එතන තියෙන Get Codes කියන බොත්තම ඔබලා ඔයාට පුළුවන් ඉලක්කම් අටක් සහිත බැකප් කෝඩ් 10ක් ලබාගන්න. මෙන්න මේ කෝඩ් වලින් තුන හතරක් හෝ කෝඩ් දහයම හෝ අතිශයින් ආරක්ශිත තැනක ලියලා හරි ගබඩා කරලා හරි තියන්න.

මොන යම් හෝ හේතුවක් හරි වෙලා ඔයාගෙ ෆෝන් එකට එන Text Message එක ලබාගන්න නොහැකි වුණොත් ඔයාට මෙන්න මේ කෝඩ් වලින් එකක් පාවිච්චි කරලා පහසුවෙන් ෆේස්බුක් වෙත ලොග් වෙන්න පුළුවන

මම හිතන්නෙ Facebook එකේ Two-factor authentication ගැන ආවරණය කරන්න පුළුවන් හැම පැත්තම වගේ ආවරණය කළා. මොකක් හරි මට මඟහැරුණ තැනක් තියෙනවා නම් පහළින් මට කමෙන්ට් එකකින් දැනුම් දෙන්න.

දැන් ඔයාගේ Facebook ගිණුම කලින්ට වඩා සෑහෙන දුරට ආරක්ෂිතයි, මේ ආකාරයටම ඔයාට පුළුවන් Google Account එකටත් සහ අනෙක් බොහෝ account වලටත් two-factor authentication ක්‍රියාත්මක කරගන්න. මේ හා සමාන පියවර ටිකක් තමයි තියෙන්නේ.
 ***

එහෙනම් ඔයාගෙ Online Account වල ආරක්ෂාව ගැන කරපු පෝස්ට් ටික මෙතනින් ටිකකට නවත්තන්නයි හදන්නේ. ඊළඟ පොස්ට් එක බොහෝ දුරට Android ගැන වේවි. 
නැවත හමුවෙනතුරු, ඔබට ජය!

Share:

Friday, July 13, 2018

හැක් නොවෙන හැටි - 2

Password Manager - මුරපද කළමනාකරු

 
අපි කලින් පෝස්ට් එකෙන් කථා කළේ ශක්තිමත් මුරපදයක් යොදාගෙන අපේ අන්තර්ජාල ගිණුම් සුරක්ෂිත කරගන්න විදිය නෙ. (කියෙව්වෙ නැත්නම් මෙන්න ලිංක් එක :- Previous Post ) ඒත් එතනදි අපිට පැන නැඟුණු විශාලම ගැටළුව තමයි අපි කොහොමද මේ විවිධ වෙබ් අඩවි වලට යොදපු විවිධ මුරපද මතක තියාගන්නෙ කියන එක. අනික අපි යොදපු ශක්තිමත් මුරපද මතක තියා ගන්න එක තවත් අසීරුයි. 

අන්න එතනදි තමයි අපේ උදව්වට Password Manager එකක් අවශ්‍ය වෙන්නේ. පාස්වර්ඩ් මැනේජර් එකක් කියන්නෙ මොකක්ද, කියන තැන ඉඳන් අපි අද සම්පූර්ණයෙන්ම වගේ Password Manager ගැන ඉගෙනගනිමු.

මොකක්ද මේ Password Manager එකක් කියන්නෙ?

ඒ කියන්නෙ අපේ පාස්වර්ඩ් ඔක්කොම අපි වෙනුවෙන් මතක තියාගෙන ඉන්න App එකක් කිව්වොත් මම හරි. අපිට පුළුවන් මේ Password Manager එකට අපේ සියළුම මුරපද ඇතුළු කරලා සුරක්ෂිතව ගබඩා කරලා තියන්න. ඔයාලට මෙතනද ප්‍රශ්නයක් එන්න පුළුවන් අපේ පාස්වර්ඩ් අපි තුන් වෙනි පාර්ශවයකට දෙන එක අපේ ආරක්ෂාව බිඳවැටීමක් නේද කියලා. එහෙම හිතන එක ඇත්තටම වැරැද්දක් නැහැ, ඒත් අපිට සිදුවෙනවා මේ තුන් වෙනි පාර්ශවය ගැන පූර්ණ විශ්වාසය තියන්න. ඒ විශ්වාසය තාමත් නොබිඳුණු ඇප් එකක් ගැන අද මම කියලා දෙන්නම්.

ඔයා Password Manager එකක් පාවිච්චි කරන්න පටන් ගත්තම ඔයාට පුළුවන් එකම එක පාස්වර්ඩ් එකක් විතරක් මතක තියාගෙන ඔයාගෙ අනෙක් පාස්වර්ඩ් ඔක්කොම ටික අමතක කරලා දාලා ඒ මතක තියා ගැනීමේ කාර්යය software එකකට පවරලා ආතල් එකේ ඉන්න. එහෙනම්, ඔන්න ලෑස්ති වෙන්න ඔයාගෙ පාස්වර්ඩ් ටික අමතක කරන්න!

අනෙක් කාරණාව තමයි මම දැකපු Password Managers වර්ග කීපයක් තියෙනවා, ඒවා ගැඹුරින් කතා කරන එක ටිකක් සංකීර්ණ වැඩක් නිසා එයින් ප්‍රධාන කොටස් දෙකක් ගැන අපි ඉගෙනගනිමු.

  1. Cloud Based (Sever Based)
  2. Desktop Based
මේ දෙවර්ගය ගැනම අපි ඉගෙනගනිමු.

1. Cloud Based Password Managers

මේ වර්ගයේදී අපේ පාස්වර්ඩ් අපි ගබඩා කරන්නේ ඔන්ලයින් ක්ලවුඩ් එකක. ඒ කිව්වේ තුන්වැනි පාර්ශවයක අතිශයින් ආරක්ෂිත පරිගණකයක. ඒක තියෙන්නෙ කොහෙද කියලා අපි වත් දන්නෙ නැහැ. නමුත් මේ වගේ සර්වර් එකක ගබඩා කරන පාස්වර්ඩ් Encrypt වෙලා බොහොම ආරක්ෂිතව ගබඩා වෙලා තියෙනවා කියලයි සඳහන් වෙන්නේ.

මේ වගේ Password Manager එකක අවාසියත් අපේ මුරපද තුන්වැනි පාර්ශවයකට අයිති තැනක ගබඩා කිරීම තමයි.

මේ Password Manager එකක වාසි නම් අනික් වර්ගයට වඩා වැඩී,

ඔයාගෙ මුරපද ටික ගබඩා වෙන්නේ වෙනම තියෙන Online Server එකක නිසා ඔයාගේ කම්පියුටර්ස්, ස්මාට්ෆෝන්ස් වගේ හැම උපාංගයක්ම විනාශ වෙලා ගියත් ඔයාගෙ මුරපද ටික සුරක්ෂිතයි.

ඒ වගේම ලෝකේ කොහේ ගියත්, ලෝකෙ ඕනම තැනක තියෙන උපාංගයකින් ඔයාගෙ Password ලබාගන්න පුළුවන්.

අනෙක් වාසිය තමයි ඔයා ගාව කොච්චර උපාංග තිබුණත් ඒ හැම උපාංගයක් හරහාම ඔයාගෙ මුරපද ලබාගන්න පුළුවන්. (Password Sync වෙනවා - Sync කියන වචනේ තේරුම ටිකක් හොයලා බලන්න.) උදාහරණයක් හැටියට, ඔයාගෙ ලැප්ටොප් එකෙන් ඔයා යම් අඩවියකට ලොග් වෙලා ඒකෙ මුරපදය අදාළ පාස්වර්ඩ් මැනේජර් එකට ලැප් එකෙන් එකතු කළා කියමුකො, පස්සෙ ඔයා ගමනක් යනගමන් ඔයාට හදිසියෙ අවශ්‍ය වුණොත් ඒ අඩවියට ඔයාගෙ ෆෝන් එකෙන් ලොග් වෙන්න ඒක හරිම පහසුවෙන් කරන්න පුළුවන් මේ Cloud Based Password Manager එකකින්.

මේ වර්ගයේ Password Manager වලට උදාහරණ තමයි,
  • LastPass
  • Keeper
  • Dashline

2. Desktop Based Password Managers 


මේ වර්ගයේ Password Manager එකක් භාවිතා කරන්න ඔයාට අන්තර්ජාල පහසුකම් අවශ්‍ය නෑ. ඔයාගෙ පාස්වර්ඩ් ගබඩා වෙන්නේ ඔයාගේ device එකේ විතරයි. වෙන උපාංගයකට ඔයාගෙ පාස්වර්ඩ් ලබාගන්නවා නම් ඒක කරන එක ගොඩක්ම අසීරු කාර්යයක් වෙනවා. හැබැයි මෙතනදි ඔයාගෙ පාස්වර්ඩ් ටික තියෙන්නේ ඔයා ළඟ විතරක් නිසා වෙන කිසි කෙනෙක්ට ඔයාගෙ පාස්වර්ඩ් ලබාගන්න විදියක් නෑ. (බලෙන් උදුරලා අරගෙන බෙල්ලට පිහියක් තියලා Master Password එක ඉල්ලගෙන නම් පුළුවන් :D )

මේ වර්ගයේ Password Managers දැන් භාවිතය ගොඩක් අඩු වේගෙන යනවා මොකද දැන් හැම දේම පහසුවෙන්, ලේසියෙන් කරගන්න මිනිස්සුන්ගේ තියෙන පෙළඹීමත් එක්ක. හැබැයි, ඔයාට පුළුවන් මේ වගේ පාස්වර්ඩ් මැනේජර් එකක් ඔයාගෙ බැකප් ප්ලෑන් එක විදියට ඉන්ස්‍ටෝල් කරලා තියාගන්න. මොනයම්ම හරි හේතුවක් වෙලා ඔයා ඔයාගෙ මුරපද ටික Online Store කරපු සර්වර් එක හෝ සර්වර් සමූහයම විනාශ වෙලා ගියොත් (ලෝක විනාසෙ වෙලා වගේ) ඔයාට පුළුවන් ඔයාගෙ device එකේ ගබඩා කරලා තියෙන offline password manager එකෙන් ඔයාගෙ පාස්වර්ඩ් ටික ලබාගන්න.  

මේ වර්ගයේ Password Manager වලට උදාහරණ:-
  • KeePass
  • 1Password
  • Pass 
එහෙනම් අපි දැන් Password Manager කියන්නෙ මොකක්ද කියලා පොඩි අවබෝධයක් තියෙන උදවිය. එහෙනම් දැන් අපි යමු Password Manager එකක් භාවිතා කරලා බලන්න.

***

LastPass Password manager

ලාස්ට්පාස් කියන්නෙ මම අර කලින් කිව්ව වර්ග දෙකෙන් මුල් වර්ගය, ඒ කිව්වේ Cloud Based වර්ගයේ Password Manager එකක්. බොහොමයක් දෙනා දැන් බොහෝ කාලයක් පාවිච්චි කරලා විශ්වාසය දිනාගත්ත Password Manager එකක්. අනික මේකේ තියෙන හොඳම කොටස තමයි මේක අපිට නොමිලේ භාවිතා කරන්න පුළුවන්, හැබැයි සමහර පහසුකම් නම් සක්‍රීය කරගන්න මුදල් ගෙවන්න ඕන. ඒත් බය වෙන්න එපා, අපිට පුළුවන් නොමිලේම වැඩේ ගොඩ දාගන්න. ඔන්න එහෙනම් වැඩේ පට්ටාන් ගමු.

මුලින්ම මෙන්න මේ සයිට් එකට යන්න,

 https://www.lastpass.com/

ඊට පස්සේ මේ පහළින් තියෙන පිංතූරයේ කොළ පාටින් කොටු කරලා තියෙන තැන තියෙන බට්න් එක ක්ලික් කරන්න. (වෙන මුකුත් ඕන නෑ, අර මුදල් ගෙවලා මිළදීගන්න කියන දේවල් වලට යන්න අවශ්‍ය නෑ.)


 ඒ බට්න් එක ක්ලික් කරලා ටික වෙලාවකින් ඔයාට මෙන්න මේ පහළින් පේනවා වගේ කොටුවක් මතු වේවි, ඒ කොටුවේ Add Extension කියන බට්න් එක ක්ලික් කරන්න.


එහෙම නැත්නම් ඔයා පාවිච්චි කරන බ්‍රවුසර් එකට අදාල Extension Catalog එකට ගිහින් (Chrome Web Store / Firefox Ad-Ons) Lastpass කියන වචනේ සර්ච් කරලා ඒ Extension එක ඔයාගෙ බ්‍රවුසර් එකට එකතු කරගන්න.

නිසි ආකාරව ඔයා Extension එක browser එකට එකතු කරගත්තා නම්, මෙන්න මේ පහළ තියෙනවා වගේ පේජ් එකක් ඕපන් වේවි.

දැන් ඔයාට තියෙන්නේ LastPass ගිණුමක් හදාගන්න එකයි. ඒක බොහොම පහසුවෙන් ඔයාට ඔයා අළුතින් එකතු කරගත්ත Lastpass Extension එක උඩ ක්ලික් කරලා කරගන්න පුළුවන්.

මුලින්ම ඔයාගෙන් ඉල්ලන්නේ ඔයාගෙ email එක. එතනට ඔයා ලබා දෙන්න ඕන ඔයා පාවිච්චි කරන ඊමේල් ලිපිනය. ඊට පස්සේ Create An Account කියන බට්න් එක ඔබලා ඔයාට පුළුවන් ඉදිරියට යන්න. Extension එක මඟින් ඔයාට ලබාදෙන උපදෙස් අනුව ඊළඟට ඔයාට Master Password එක තෝරගන්න වෙනවා. මේ මාස්ටර් පාස්වර්ඩ් එක ඔයාට අමතක නොවෙන ශක්තිමත් පාස්වර්ඩ් එකක් වෙන්න ඕන. මීට පස්සෙ ඔයා මතක තියාගන්න ඕන මෙන්න මේ පාස්වර්ඩ් එක විතරයි, අන්න ඒ නිසා මේ පාස්වර්ඩ් එක හරියට මතක තියාගන්න.

ඔයා නිවැරදිව අකවුන්ට් එක හැදුවා නම්, මෙන්න මේ වගේ පේජ් එකක් ස්වංක්‍රීයවම මතු වේවි. මම නැවතත් කියනවා, ඔයා අකවුන්ට් එක හදන අතරෙදි ඔයා ලබා දුන්න password එක නම් අමතක කරගන්න එපා.

අතන ඉහළින් මම පෙන්නුව පේජ් එකේ වම් පැත්තේ පහළ කෙළවරේ තියෙන More Options කියන තැන ක්ලික් කරලා, Advanced > Import කියන බට්න් එක ක්ලික් කරලා ඔයාට පුළුවන් ඔයා දැනටමත් ඔයාගෙ බ්‍රව්සර් එකේ සේව් වෙලා තියෙන පාස්වර්ඩ් ටික වගේම, ඕනම බ්‍රව්සර් එකක හෝ Passwords Manager එකක තියෙන password  LastPass වෙත එකතු කරගන්න.

ඒ වගේම ඔයා Manually පාස්වර්ඩ් එක ගහලා ලොග් වෙන හැම සයිට් එකකම සහ අළුතින් හදන හැම එකවුන්ට් එකකම මුරපදය, ස්වයංක්‍රීයවම මෙන්න මේ පහළ තියෙන රූපයේ දැක්වෙන විදියේ Dialog Box එකක් ඇවිල්ලා සේව් කරගනීවි, ඔයාට තියෙන්නේ OK බොත්තම ඔබන එක විතරයි.


ඒ එක්කම ඔයාට දකින්න පුළුවන් වේවි, ඔයා LastPass එකට එකතු කරපු මුරපද සහිත ඕනම වෙබ් සයිට් එකකට ඔයා ලොග් වෙන්න උත්සාහ දරනකොට LastPass වලින් ඒ සයිට් එකට අවශ්‍ය මුරපදය සහ username එක ලබාදෙන බව.

ඔයාලට දැනට LastPass වෙතින් සීමිත දින ගණනක් භාවිතා කරන්න Premium Trial එකක් දීලා ඇති, බය වෙන්න එපා, ඒක ඉවර වුණා කියලා ඔයාට LastPass භාවිතා නොකර ඉන්න අවශ්‍ය වෙන්නෑ. ඒ වගේම LastPass Android ඇප් එක Google Play වෙතින් ලබාගන්න පුළුවන් ඔයාට, ඒකෙන් පුළුවන් ඔයාගෙ ෆෝන් එකෙයි, Desktop Browsers වලයි තියෙන පාස්වර්ඩ්ස් එකම තැනකට අරන් ඕනම device එකකින් ඕනම සයිට් එකකට ලොග් වෙන්න. (Apple iOS ඇප් එකකුත් ඇති, ඒ ගැන හරියටම කියන්න මම දන්නෑ මොකද මම Die Hard Android user නිසා :P )

LastPass Extension එකෙන්, ඔයාගෙ Internet Serfing අත්දැකීම, පහසු සහ වඩා ආරක්ෂාකාරී කරගන්න තව ගොඩක් දේ කරන්න පුළුවන් . ඒ හැම දේම නම් කියලා දෙන්න මේ වගේ පෝස්ට් එකකින් අමාරුයි.  මම මේ පොස්ස්ට් එකෙන් මූලික තල්ලුව ලබා දුන්නා, ඉතිරිය ඔබට භාරයි.

අනික් දේ, ඔයා ගාව තියෙන හැම පාස්වර්ඩ් එකක්ම එකපාරට LastPass එකට දාගන්න එක අමාරු වෙන්න පුළුවන්. ක්‍රමානුකූලව ටික ටික ඔයාට පුළුවන් ඔයාගෙ Password Database එක වර්ධනය කරගන්න.

මම මගේ කලින් පෝස්ට් එකෙන් කිව්වා වගේ, ඔයාට දැන් පුළුවන් ගොඩක් ශක්තිමත් මුරපද ඔයා ලොග් වෙන සයිට් වල අකවුන්ට් වලට දාන්න. මොකද ඒවා මතක තියාගන්නෙ දැන් ඔයා නෙවෙයිනෙ, ඒ නිසා, ඔයා කලින් දුර්වල පාස්වර්ඩ් දාලා තිබුණ සහ එකම පාස්වර්ඩ් එක නැවත නැවතත් දාලා තිබුන ඒවා වෙනස් කරලා අලුත් ශක්තිමත් පාස්වර්ඩ් LastPass එකට එකතු කරලා තියන්න.

මුල් කාලයේ පොඩි වදයක් වගේ දැනෙයි, ඒත් කාලයක් යද්දි ඔයාට වැටහෙයි Username, Password කොට කොට ඉන්නවට වඩා මේක කොච්චර නම් පහසුද කියලා.

එහෙනම්, අදට පොස්ස්ට් එක නවත්තන්නයි මේ සූදානම. මොකක් හරි ගැටළුවක් තියෙනවා නම් මේ බ්ලොග් එකේ ඉහලින් තියෙන ඕනම විදියකින් මාව සම්බන්ධ කරගන්න පුළුවන්, එහෙම අමාරුයි නම් පහළින් කමෙන්ට් එකක් දාන්න, මම උදව් කරන්නම්.

එහෙනම්, මගේ බ්ලොග් එක කියවන ඔබට ගොඩක් ස්තුතියි, මේකට වෙළඳ දැන්වීම් එකතු කරලා නෑ, ඉතින් මේක සම්පූර්ණයෙන්ම මගේ හිතේ සතුට වෙනුවෙන් කරන දෙයක්.

ඊළඟ පෝස්ට් එකත් ඔයාගෙ අන්තර්ජාල ගිණුම් වල ආරක්ෂාව ගැනමයි, ඒක ලියන්න අදහස් කරන් ඉන්නේ Two Factor Authentication ගැන. එහෙනම්, ඒ පොස්ස්ට් එකෙන් නැවත හමුවෙන තුරු, ඔබට ජය!



***
Share:

Thursday, July 12, 2018

හැක් නොවෙන හැටි - 1

මම තීරණය කළා ඔයාලගෙ ඔන්ලයින් ගිණුම් ටික ආරක්ෂා කරගන්න හැටි ගැන ලිපි පෙළක් ලියන්න. මොකද අපේ ගොඩක් අය නිතරම නහයෙන් අඬන කාරණාවක් තමයි අනේ මගේ account එක හැක් වෙලා කියන එක. එහෙම දේවල් නොවෙන්න මොනාද අපි කරන්න ඕන? අපි එහෙනම් ඒක Password වලින්ම පටන්ගනිමු.

***

මුරපද - Passwords

අද මම කතා කරන්න හිතුවෙ මුරපද, එහෙමත් නැත්නම් password ගැන. එහෙනම් අපි මුළ ඉඳන්ම දැනගමු පාස්වර්ඩ් පිටුපස කථාව.

Password එකක් ඕන ඇයි?

අපිට පාස්වර්ඩ් එකක් ඕන ෆේස්බුක් යන්න නේ, කියලා කියයි ගොඩක් අය. හැබැයි, මේක ඊට වඩා සංකීර්ණ කාරණාවක්. අපි අන්තර්ජාල භාවිතය ආරම්භ කරපු කාලෙම අපිට අහු වුණ මේ password කියන concept එක ඇත්තටම යොදාගන්නෙ ඔයාගෙ අනන්‍යතාව තහවුරු කරන්නයි. උදාහරණයක් විදියට ඔයාගෙ ෆේස්බුක් අකවුන්ට් එකට වෙන කෙනෙක් ලොග් වෙන්න හැදුවට ලොග් වෙන්න බැරි මෙන්න මේ මුරපදය, එහෙමත් නැත්නම් password එක ඒ කෙනා නොදන්න නිසා. ඇත්තටම මේ මුරපදය කියන concept එක සාර්ථක concept එකක් වුණාට වර්තමානයේ සහ අනාගතයේ ඒක ටිකක් කම්මැලි, එපා වෙන වැඩක් වේවි. මොකද දැනටමත් ඇඟිලි සලකුණ, මුහුණ වගේ පහසු දේවල් මුරපදයක් වෙනුවට යොදාගන්න තාක්ෂණ ඇවිල්ලා හමාරයි. ඒත් එහෙමයි කියලා අපිට දැන්ම මුරපද concept එක අයින් කරන්න අමාරුයි. ඒත් අපිට පුළුවන් මේ Password Concept එක වෙනස්ම ආකාරයකට යොදාගන්න. ඒ කොහොමද කියලා ඉස්සරහට බලමු.

ඔයාගෙ Password එක ශක්තිමත් ද?

මොකක්ද මේ ශක්තිමත් පාස්වර්ඩ් කතාව? සමහරවිට ඔයා දැකලත් ඇති, අලුතින් යම් වෙබ් අඩවියක ගිණුමක් හදනකොට password එකේ ශක්තිමත් බව පෙන්නන පොඩි bar එකක් තියෙනවා. ඒක රතු පාට නම් පාස්වර්ඩ් එක දුර්වල ලෙසත්, කහ පාට නම් පාස්වර්ඩ් එක තරමක් හොඳ බවත්, කොළපාට නම් පාස්වර්ඩ් එක ශක්තිමත් බවත් පෙන්නුම් කරනවා.

මෙතන මොකක්ද මේ ශක්තිමත් කියන්නෙ? ඒ කියන්නෙ, හැකර් කෙනෙක් හරි, කෘතිම බුද්ධියක් හරි, මොකක් හරි ප්‍රභල පරිගණකයක් හරි ඔයාගෙ පාස්වර්ඩ් එක අනුමාන කරන්න තියෙන හැකියාව ගැන. ඔයාගෙ පාස්වර්ඩ් එක ශක්තිමත් නම් ඒ අනුමාන කිරීම කරන්න අවුරුදු සිය දහස් ගණනක් ගත වේවි, ඔයාගෙ පාස්වර්ඩ් එක දුර්වල නම් ඒක අනුමාන කරන්න විනාඩි කීපයකින් හෝ පැය කීපයකින් පුළුවන් වේවි. පාස්වර්ඩ් එකක් මේ ආකාරයෙන් අනුමාන කරන එකට Password crack කරනවා කියලා සාමාන්‍ය ව්‍යවහාරයේ කියන්නෙ.

හරි එහෙනම්, අපි බලමුද ඔයාගෙ පාස්වර්ඩ් එක කොච්චර ශක්තිමත් ද කියලා? හැබැයි මේකෙදි ඔයාගෙ ඇත්තම පාස්වර්ඩ් එක යොදාගන්න එපා. ඔයාගෙ පාස්වර්ඩ් එකට සමාන වචනයක් හෝ සංඛ්‍යාවක් යොදාගන්න. උදාහරණයක් විදියට ඔයා පාස්වර්ඩ් එකට ගන්නෙ ඔයාගෙ උපන්දිනේ නම්, යාළුවෙක්ගෙ උපන්දිනයක් ගහලා බලන්නකො :P මේ මම පහළින් දෙන අඩවිය Kaspersky සමාගමට අයිති එකක්. ඒකෙන් පුළුවන් ඔයාට ඔයාගෙ පාස්වර්ඩ් එක කොච්චර ශක්තිමත් ද කියලා බලාගන්න. ඒ වගේම ඔයාගෙ පාස්වර්ඩ් එක crack කරන්න යන වෙලාව බලාගන්නත් පුළුවන්.


හරි එහෙනම්, දකින්න ඇතිනෙ වැඩේ. හැබැයි තව දෙයක්, මේ අඩවියෙන් ඔයාට පෙන්නන්නේ සාමාන්‍ය ගෙදරදි, ඔෆිස් එකේදි පාවිච්චි වෙන පරිගණකයකින් ඔයාගෙ පාස්වර්ඩ් එක ක්‍රැක් වෙන්න යන වෙලාව. මතක තියාගන්න, හැකර්ස් ලා, botnet කියන පරිගණක ජාල භාවිතයෙන් බොහොම විශාල ගණනය කිරීම් ප්‍රමාණයක් වේගයෙන් කරන්න පුළුවන් සුපිරි පරිගණක හදාගෙන භාවිතා කරන බව!

ශක්තිමත් පාස්වර්ඩ් එකක් හදාගන්නෙ කොහොමද?

ශක්තිමත් පාස්වර්ඩ් එකක් සතු ගුණ කිහිපයක් තියෙනවා.
  1. කැපිටල්, සිම්පල් අකුරු මිශ්‍රව භාවිතය සහ හිස් තැන් තැබීම.
  2. අකුරු අතරට ඉලක්කම් සහ විශේෂ සලකුණු භාවිතය. (@ # $ % & - මේ වගේ ඒවා)
  3. Characters අඩුම ගාණේ 15ක් හෝ ඊට වැඩි ගණනක් යොදාගැනීම.
  4. අනුමාන කළ නොහැකි අසාමාන්‍ය තේරුම් සහිත වචන භාවිතය.
ඔය කියන ගුණ තියෙන පාස්වර්ඩ් එකක් මෙන්න මේ වගේ.

Ice&7T G_ard4 $howM3

දැන් ඔන්න ඔය පාස්වර්ඩ් එක කොපි පේස්ට් කරලා බලන්නකො අර Kaspersky සයිට් එකේ. කොහොමද ඒක?

හැබැයි පුතෝ එහෙම හදන ශක්තිමත් පාස්වර්ඩ් මතක තියාගන්නත් අමාරුයි. අර උඩ තියෙන අපභ්‍රංශ පාස්වර්ඩ් එක කොහොමද අපි මතක තියාගන්නෙ? ඒකට කරන්න පුළුවන් බොහොම සරල වැඩක් තමයි Password Manager එකක් භාවිතා කිරීම. (ඒ ගැන මම ඊළග පෝස්ට් එකෙන් කතා කරන්නම්.)

කවදාවත් එකම පාස්වර්ඩ් එක හැම සයිට් එකටම යොදාගන්න එපා!

අපි ඉතින් ඉස්සර ඉඳන් කරන වැරැද්ද නෙ ඕක. ෆේස්බුක් එකටයි, ගූගල් එකටයි, ට්විටර් එකටයි, රටේ ලෝකෙ හැම අකවුන්ට් එකටමයි දෙන්නෙ එකම පාස්වර්ඩ් එක. ඒකත් මොකක් හරි සිඟිති, දුර්වල පාස්වර්ඩ් එකක්. ඉතින් දෙයියනේ කියලා ඔය එක අකවුන්ට් එකක පාස්වර්ඩ් එක කවුරු හරි හොයාගත්තා කියන්නෙ ඉතින් අනිත් account ටිකත් ඔක්කොම හැක් වුණා වගේ තමයි. මොකද hackers ලා හෝ කවුරු හරි ඔයාගෙ අකවුන්ට් එකට ලොග් වෙන්න උත්සාහ කරන එකා අනිවාර්යයෙන්ම දන්නවා අපි සාමාන්‍යයෙන් එකම පාස්වර්ඩ් එක තමයි හැම ගිණුමටම යොදාගන්නේ කියලා. ඉතින් ඒ යකා අනිවාර්යයෙන්ම අනික් සයිට් වලටත් ගිහින් අර පාස්වර්ඩ් එක ගහලා ට්‍රයි කරලා බලයි වැඩද කියලා. ඉතින් ඔයා හැම එකටම පාස්වර්ඩ් එක විදියට පාවිච්චි කළේ එකම වචනයක් නම්, ඉතින් මළා වගේ තමයි.

"එතකොට අපි කොහොමද දෙයියනේ අර වගේ තඩි පාස්වර්ඩ් ගොඩක් මතක තියාගන්නෙ? අපි සයිට් කීයක නම් register වෙලා ඉන්නවද? අපි ඒ ඔක්කොටම අර වගේ වෙනස් වෙනස් පාස්වර්ඩ් ගොඩක් දැම්මොත් මළ කෙලියයි නෙ වෙන්නෙ, අපි රොබෝලා නෙවෙයි නෙ."

ඔන්න ඔය ප්‍රශ්ණ වලටත් තියෙන එකම විසඳුම තමා Password Manager එකක් භාවිතා කිරීම. එහෙනම්, Password Manager ගැන අපි ඉගෙනගමු ඊළඟ පෝස්ට් එකෙන්, ඊළඟ පෝස්ට් එකෙන් හමු වෙන තුරු, ඔබට ආරක්ෂාකාරී අන්තර්ජාල භාවිතයක් ලැබේවා!
Share:

www.prabhash.space

Search This Blog

Blog Archive

Follow by Email

Ukussa Reader

Lanka Bloggers

uk blog reader

StatCounter

Powered by Blogger.